අද කළ යුතු දේ අද ම කළ යුතුයි
අද කළ යුතු දේ අද ම කළ යුතුයි. අසුබවාදීන් වැඩ හෙටට කල් දමයි. ධන චින්තන සුබවාදීන් හෙට දවස ගැන සිහින මවයි. නමුත් හෙට කියා දවසක් උදා නොවීම විය හැකිය. අපට ජීවත්වෙන්න තියෙන කාලය හරිම කෙටියි. එය කුමන මොහොතක අවසන් වී අපේ මරණය සිදුවේදැයි කිව නොහැකිය. අසුබවාදීව සිතන පුදගලයෙකුට මරණය ගැන කතා කිරීම පවා සිතට බිය ගෙන දෙන කාරණයකි. නමුත් මරණය ගැන මෙනෙහි කිරීම අප්‍රමාදීවීමට හේතුවක්ම වන්නේය. තථාගත සම්මා සම්බුදුරජාණන්වහන්සේ විසින් මරණානුස්සති භාවනාව දේශනාකොට වදාළේද සසර තරණයට පෙළගැසෙන වීර්යවන්තයන්ගේ අප්‍රමාදීවීම පිණිසමය. මෙහොතක් සිතන්න. තව විනාඩි 5 කින් ඔබේ මරණය සිදුවන බව යමෙකු ඔබට කීවොත් ඇතිවන මානසිකත්වය කෙබඳුද.... නිම කරගැනීමට නොහැකි වූ වැඩ, ඉටුකරගැනීමට නොහැකි වූ පොරොන්දු, කියාගැනීමට නොහැකි වූ හැඟීම්, සමාව ගැනීමට නොහැකි වූ වැරදි, විඳගැනීමට නොහැකි වූ අවස්ථා, හැඟවීමට නොහැකි වූ ආදරය වැනි අනේකවිධ දහසක් සිතුවිලි ඔබේ සිතට ඇති විය හැකිය. නමුත් ඒ කිසිවක් සම්පූර්ණ වශයෙන් අවසන් කිරීමට ඔබට කාලය නොලැබෙනු ඇත. ජීවත්වීම සඳහා ඔබට තවත් ඉතිරිව ඇති උපරිම කාලය විනාඩි 5 ක් වන නිසා. නමුත් ඔබ එතරම් පීඩනයක් මේ මොහොතේ සිතට ගත යුතු නැත. ඔබට ජීවත්වීම සඳහා විනාඩි 5 කට වඩා තවත් බොහෝ කාලයක් ඉතිරිව ඇත. අතීතයේ සිදු වූ අතපසුවීම් අමතක කොට නැවුම් ආරම්භයක් සඳහා වඩාත්ම හොඳ මොහොත දැන් උදා වී ඇත. ඒ සඳහා විශේෂ නැකතක් අවශ්‍ය නැත. ජීවිතයේ වැරදුන තැන් හඳුනාගෙන වැටුනු තැනින් නැඟිටින්න පටන්ගන්න හොඳම නැකත මේ මොහොතයි. ඔබේ ජීවිතයේ සැනසුම අහිමිවීමට ප්‍රධාන හේතුවක් වුනේ වැඩ අතපසු කිරීමයි. අද කළ යුතු දේ අද ම නොකිරීමයි. හෙටට කල් දැමීමයි. බාහිර කරුණු වලට නතු වී ඔබේ දියුණුව උදෙසා ඔබ කළ යුතු දේ ඔබ විසින් මඟහැර දැමීමයි. ඔබට වැරදුන තැන එතැනයි. මේ මොහොතේ සිට අධිෂ්ඨානයක් ගොඩනගාගන්න අද කළ යුතු වැඩ කොටස අද ම සම්පූර්ණ කරන්න. කුමන බලපෑමක් එල්ල වුනත් අලස නොවී කටයුතු කරන්න. දැන් නිදිමතයි, දැන් බඩගිනියි, කෑම කාපු නිසා දැන් බඩ පිරිලා, දැන් හරිම සීතලයි, දැන් හරිම රස්නෙයි, තාම දවල්නේ, රෑ වුනා වැඩියි, අද වැස්ස, පායන නිසා බෑ හෙට කරමු වගේ අලස සිතුවිලි වලට මනසට ඇතුලුවීමට ඉඩනොදෙන්න. ඔබේ කටයුතු මනා ලෙස සැලසුම් කර ඒ අනුව කටයුතු කරන්න.
පොරොන්දුවීමේදී දුර දිග සිතා බලා පොරොන්දු වන්න. ඔබ යමක් යමෙකුට පොරොන්දු වූවා නම් ඔබට හැකි පමණින් ඒ පොරොන්දුව ඉටු කිරීමට උත්සහ කරන්න. ඔබට එය ඉටු කිරීමට නොහැකි නම් එය මානසික ආතතියට හේතුවක් කර නොගෙන ඉතාමත් ආචාරශීලීව ඒ බව දැනුම්දීමට කටයුතු කරන්න. එයින් ඔබ කෙරෙහි තබා තිබූ විශ්වාසය පලුදු නොවෙනු ඇත. ඔබේ සමාජ සම්බන්ධතා ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇත. එමෙන්ම පළමුව සිදු කළ යුතු කටයුතු පළමුව සිදු කර පසුව සිදු කළ යුතු කටයුතු පසුව සිදුකිරීමද ඔබගේ මානසික සැනසුම රැකගැනීමට හේතුවක් වනු ඇත. ඔබට යම් යම් අය පිළබඳව ඇති හැඟීම් නුවණින් විමසා බලා උචිත අවස්ථාවක් පැමිණි විගස ඔවුන් වෙත හැඟවීමට කටයුතු කරන්න.
ආදරය වැනි මානුෂික හැඟීම් විඳගැනීම අවිචාරවත් ලෙස කල් දමා යටපත් කිරීම සෑම විටම උචිත නොවන ක්‍රියාවක් විය හැකිය. ඔබ අධ්‍යාත්මිකව සිත දියුණු කර නොගත් පුද්ගලයෙකු නම් ජීවිතයේ විඳගැනීමට නොහැකි වූ අවස්ථා පසු කලෙක සදාකාලික වේදනාවන් බවට පත්ව ඔබේ සිතේ මිහිදන් වනු ඇත. එය ඔබේ මානසික සැනසුම ඔබෙන් උදුරා ගනු ඇත. ඔබෙන් යම් වරදක් සිදු වී ඇත්නම් පමා නොවී සමාව ඉල්ලීම ඔබගේ මානසික සැනසුම ආරක්ෂා කරගැනීමට තවත් උපකාර වනු ඇත. ඔබට වැරදි කළ අයට සමාවදීමද ඔබේ මානසික සැනසුම ආරක්ෂා කරගැනීමට තවත් හේතුවක් වනු ඇත.
විශේෂ ස්තූතිය - නිෂාන් තුෂාර
අද කළ යුතු දේ අද ම කළ යුතුයි
Reviewed by Dilshan
on
9:35:00 AM
Rating:
No comments: