දින 7 ක් ඇතුලත ඕනෑම භාෂාවක් ඉගෙනගැනීමට ක්‍ර‍ම 7 ක්...


අපේ යාලුවෝ කැමතියි විදේශීය භාෂාවන් ඉගෙනගන්න. ඒත් සමහර යාලුවෝ දුක් වෙනවා තමන්ට ඉක්මනින්ම ඒ භාෂාවන් ඉගෙනගන්න අපහසුවීම ගැන. එවැනි ගැටලු තිබුණ අපේ යාලුවන්ට මේ ලිපිය බොහොම ප්‍රයෝජනවත් වේවි. ඇත්තටම සතියක් ඇතුලත භාෂාවක් ඉගෙනීමට හැකිද... ඔබ පුදුමයට පත්වේවි... නමුත් මෙම ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා දින හතක කාලයක් කැපවීමට ඔබට හැකි නම්, ඔබ අපේක්ෂා කළ පරිදි මෙම ඉලක්කය ඉටුකරගැනීමට හැකිවේවි. විදෙස් භාෂාවන් හැදෑරීම කෙරෙහි උනන්දු වියතුන් විසින් අනුගමනය කළ ක්‍ර‍ම කිහිපයක් මෙහිදී සඳහන් කිරීමට උත්සහ කරන්නෙමු. එහිදී ඔවුන් සිය දෛනික චර්යාවට අයත් වගකීම් වලින් සිය අවධානය නිදහස්ව තබාගෙන පැය අටක කාලයක් දක්ෂ ලෙස භාෂාවන් හැදෑරීම කෙරෙහි කැප වී තිබේ. කැපවීමේ කාලසීමාවේදී ඔවුන් විසින් නිරීක්ෂණය කිරීමට යෙදුන විශේෂිත කරුණු හතක් මතු සාකච්ඡා කෙරේ. 

1. භාෂාව ඉගෙනීමේ වැදගත්කම අවබෝධ කරගැනීම. 

පළමුව ඔබ ඉගෙනගන්නා භාෂාවට ආදරය කළ යුතුවේ. මෙහිදී ඔබේ අරමුණ පැහැදිලිව හිතේ ධාරණය කරගත යුතුය. එම භාෂාව ඉගෙනීමේ වැදගත්කම සහ එම භාෂාව ඉගෙනීම නිසා ඔබට ලැබෙන ප්‍රයෝජන ගැන මෙනෙහි කිරීමෙන් ඔබට මෙම පියවර සම්පූර්ණ කරගත හැකිය. 

2. ආදේශ කිරීම (ලේබල් කිරීම). 

භාෂාව ඉගෙනගන්නා පළමු මොහොතේදීම, ඉගෙනගන්නා භාෂාවේ වචන ඔබේ වටපිටාවේ ඔබ දකින, ඔබ ඇසුරු කරන දේවල් වෙත වහාම ආදේශ කරන්න. සිතියම්ගත කරන්න. සරලව කියනවා නම් ඔබ උගත් වචන වටපිටාවේ ඇති වස්තූන් මත ලේබල් (sticky notes) ලෙස වශයෙන් මනසින් අලවා තබා ඒවා දකින්නට උත්සහ කරන්න. දෛනික ජීවිතයේදී ඔබට නුහුරු භාෂාවක් ඉගෙනීමට සහ ඊට අදාළව ඔබේ වචන කෝෂය දියුණු කරගැනීමට එය හේතුවක් බවට පත්වේවි. ඔබ ඇලුම් කරන භාෂාවේ ප්‍රවීණත්වයට පත්වීමට එම පුරුද්ද ඔබට උපකාර වේවි. 

3. සහකරුවෙකු හෝ සහකාරියක සොයාගැනීම. 

විවාහය ගැන නෙමෙයි අදහස් කළේ. භාෂාව ඉගෙනගැනීම ගැනයි. සහකරුවෙකු හෝ සහකාරියක සිටිනවා නම් භාෂාව ඉගෙනීම කෙරෙහි ඔබ තුළ ඇති උනන්දුව ඉහල මට්ටමකට පත්කර ගැනීමට ඔහු හෝ ඇය ඔබට උපකාර වේවි. ඔහු හෝ ඇයද ඔබ මෙන්ම අදාළ භාෂාව ඉගෙනීම කෙරෙහි අවංක අරමුණින් කටයුතු කරන අයෙකු වීම ඉතාම වැදගත් වේ. විභාගයක් හෝ තරඟයක් වැනි ඉලක්කයක් සදහා සූදානම්වීමේදී ඇතිවන උනන්දුව හා සමාන උනන්දුවක්, මෙහිදී අන්‍යෝන්‍ය වශයෙන් පවතින වගකීම මත ඇති වේ. 

4. පෙළඹවීම් ඇති කරගැනීම. 

භාෂාවක් ඉගෙනීම සදහා ඔබ ඇති කරගෙන තිබෙන ඉලක්කය වෙත යාමේදී සැබෑ ජීවිතයේදී ඔබට මුහුණ දීමට සිදු විය හැකි කුඩා ප්‍රමාණයේ අභියෝගයන් හදුනාගෙන භාෂාමය වශයෙන් ඊට මුහුණ දීමට සූදානම් වන්න. උදාහරණ කිහිපයක් කියනවා නම් ආචාර සමාචාර කිරීමේදී භාවිතා කරන විශේෂ යෙදුම්, එලවළු මිලදී ගැනීමට යනවා නම් මිලට ගැනීමට හැකි සියලුම වර්ගයේ එලවළු වර්ග වල නාමයන්, පළතුරු මිලදී ගැනීමට යනවා නම් මිලට ගැනීමට හැකි සියලුම වර්ගයේ පළතුරු වර්ග වල නාමයන් යනාදිය හඳුනාගෙන ඉගෙන තිබීම ඔබට පහසුවක් වේවි. 

5.‍ වටපිටාව ගලපාගැනීම.

භාෂාව ඉගෙනීම සඳහා ගලපාගත හැකි සෑම දෙයක්ම හදුනාගෙන කටයුතු කරන්න. ඒ කියන්නේ ඔබ ආහාර ගැනීම සඳහා ආපන ශාලාවකට ගියත්, චිත්‍රපටයක් නැරඹීම සඳහා සිනමා ශාලාවකට ගියත්, සංගීත ‍ප්‍රසංගයක් සඳහා සහභාගී වුවත් එහදී ඔබේ ඇස කන ගැටෙන වචන සහ යෙදුම් ඉගෙනීමට තිබෙන උනන්දුව සහ පෙළඹවීම ඉතාම වැදගත් වේ. 

6. දැනටමත් උගත් දේ භාවිතා කිරීම. 

භාෂාව හොඳින් ධාරණය කරගැනීමටත් භාෂාව හසුරුවන ආකාරය වඩාත් හොඳින් ආවර්ජනය කරගැනීම සඳහාත් දැනටමත් උගත් දේ යලි යලිත් භාවිතා කිරීම වැදගත් වේ. අලුතින් ඉගෙනගන්නා භාෂාවේ සහ ඔබ දැනටමත් භාවිතා කරන භාෂාවේ සමානකම් හඳුනාගැනීම සහ සන්සන්දනය කිරීමට තරම් ඔබේ දැනුම දියුණුභාවයට පත්ව තිබීම, ඔබ සතුටට පත්කරන කාරණයක් වේවි. 

7. වෙනසකින් වෙනසකට. 

නව භාෂාවක් ඉගෙනීම සඳහා කියවීම, ලිවීම, කතා කිරීම, සවන්දීම වැනි සාම්ප්‍රදායික ‍ත්‍රම වලට අමතරව සිදු කළ හැකි වෙනත් ‍ප්‍රායෝගික ක්‍රම අත්හදා බැලීම ඉතාම වැදගත් වේ. නිතරම යමක් අලුතින් ඉගෙනගැනීමට උත්සහ කිරීම සඳහා එම භාෂාවේ ගීත ශ්‍ර‍වණය කරන්න, ඔබට අදාළ නොවුනත් එම භාෂාවෙන් ඉදිරිපත් කරන ප්‍ර‍වෘත්ති වලට සවන්දෙන්න, එම භාෂාවෙන් ලියවෙන පුවත්පත් කියවන්න, ඔබට හැකි ආකාරයෙන් කුඩා දරුවන් සඳහා කතාන්දර ලියන්න, චිත්‍ර‍පට නරඹන්න, එමෙන්ම ඔබ ගැන තොරතුරු ඔබ ඉගෙනගන්නා භාෂාවෙන්ම අන් අයට කීමට උත්සහ කරන්න... අලුතින් භාෂාවක් ඉගෙනීමේදී වැදගත් වෙන්නේ ඉහත සඳහන් කළ කරුණු කිහිපය තමයි. ලිපිය අවසන් කිරීමට කලින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතෙන තවත් දෙයක් කිව්වොත් හොඳයි කියලා මතකයට ආවා. අලුතින් භාෂාවක් ඉගෙනගත්තා කියලා අන් අය ඉදිරියේ අනවශ්‍ය විදියට උඩඟු හැසිරීම් දක්වන්න ගියොත් තමන්ගේ ප්‍රතිරූපයට හානි වෙන්න පුලුවන්. උඩඟු හැසිරීම් නිසා හිත නොසන්සුන් වුනාම වැඩි දෙයක් ඉගෙනීමට තරම් හිතේ නිරවුල් බවක් නැතිව යනවා. බුදු දහමේ ඉගැන්වෙන පංච නීවරණයන්ගෙන් එකක් තමයි මේ කිව්ව හිතේ පවතින නොසන්සුන්කම. (උද්දච්ච කුක්කුච්ච). හිතේ නොසන්සුන් බව, විසිරුණු ස්වභාවය නිසා එක අරමුණක සිටීම අපහසුයි. හිත දහ අතේ පැන පැන දුවනවා, විවිධ අරමුණු ඔස්සේ එකින් එකට යනවා. ඒ නිසා පුලුවන් තරම් අනතිමානීව ඉගෙනගන්නා අතර අනිත් යාලුවන්ටත් ඉගෙනගන්න උදව් කරන්න. ඒ වගේම තමයි අලුතින් භාෂාවක් ඉගෙන ගත්තා කියලා අපේ සිංහල භාෂාව අමතක කරන්න එපා යාලුවේ. අපේ සිංහල භාෂාවටත් ආදරය කරන්න. සිංහල අපි මේ හැමදෙයක්ම ඉගෙනගන්නේ අපේ සිංහල භාෂාව නිසා. ඕනම කෙනෙක් තමන්ගේ මව් භාෂාවට ආදරය කරනවා නම්, මව්බස හොඳින් හසුරුවනවා නම් ඒ කෙනාට විශිෂ්ට උගතෙක් බවට පත්වෙන්නත් පුලුවනි. ජාත්‍යන්තරය ඉදරියේ අපේ ජාතික අභිමානය ගැන ආඩම්බර වෙමු... අර කියනවා වගේම අපේකම රැකගෙන අලුත් දේ අරගෙන ඉදිරියට යමු... එහෙනම් යාලුවනේ ඔයාලට ජයවේවා...!
දින 7 ක් ඇතුලත ඕනෑම භාෂාවක් ඉගෙනගැනීමට ක්‍ර‍ම 7 ක්... දින 7 ක් ඇතුලත ඕනෑම භාෂාවක් ඉගෙනගැනීමට ක්‍ර‍ම 7 ක්... Reviewed by Dilshan on 9:14:00 AM Rating: 5

No comments:

Comments

Powered by Blogger.